ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් බඳවා ගත් සේවකයින් හය දෙනෙකු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම හරහා රජයට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
මෙම අත්තනෝමතික බඳවා ගැනීම් හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ අරමුදල් අවභාවිත වී ඇති බවට කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














