ශ්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) විසින් මෙරට ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් “ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රේමියර් ලීග්” (SLTPL) තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දී තිබේ. මෙහි සමාරම්භක අදියර 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත අතර, දිවයින පුරා විසිරී සිටින දක්ෂ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමේ ෆ්‍රැන්චයිස් (Franchise) පදනම් කරගත් තරගාවලියක් සඳහා එක්රැස් කිරීම මෙහි අරමුණයි.
මෙම ලීග් තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් කණ්ඩායම් අටක් (08) තරග වැදීමට නියමිතය. ඒ අනුව කොළඹ, යාපනය, මඩකලපුව, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මීගමුව නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් කෙරෙනු ඇත. එක් එක් කණ්ඩායම අත්දැකීම් බහුල සහ දක්ෂතා පූර්ණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර, මෙමගින් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහ ඉගෙනුම් අවස්ථා උදාවනු ඇති බව සංවිධායකයෝ පවසති.
මෙම වැඩපිළිවෙළෙහි වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ එය 100% ක්ම ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වීමයි. තරගාවලිය හරහා උපයනු ලබන සියලුම ලාභයන් ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩකයන්ගේ අනාගත මාවත් සකස් කිරීම සහ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා සෘජුවම යොදවනු ලැබේ.
වෘත්තීය මට්ටමින් පාලනය වන සහ වාණිජමය වශයෙන් මෙහෙයවනු ලබන SLTPL තරගාවලිය, අනුග්‍රාහකත්වයන් සහ මාධ්‍ය අයිතීන් හරහා ස්ථාවර ආදායමක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් වරින් වර ලැබෙන අනුග්‍රාහක මුදල් මත යැපෙනවා වෙනුවට, දිගුකාලීන මූල්‍ය විනයක් සහිතව ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථිර අරමුදලක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.














