ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, දකුණු තායිලන්තයේ යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන වට්-ප්‍රා-මහා-තාත් (Wat Phra Mahathat) රජමහා විහාරස්ථානය වෙත උතුම් සර්වඥ ධාතූන් වහන්සේ නමක් සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩම කරවීම පසුගිය පෙබරවාරි 28 වනදා අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක හිමිපාණන් විසින් නෙල්ලිගල ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩසිටි සර්වඥ ධාතූන් වහන්සේ නමක් තායිලන්තය වෙත පූජා කිරීම මෙහිදී සිදු විය. මෙම ඓතිහාසික අවස්ථාව තවදුරටත් අර්ථවත් කරමින් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම ශ්‍රී හේමරතනාභිධාන නාහිමිපාණන්ගේ සුරතින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර නමක් ද තායිලන්තය වෙත වැඩම කරවා පූජා කරන ලදී.
මෙම පුණ්‍යකර්මය හරහා දෙරට අතර ආගමික සහ සංස්කෘතික සබඳතා නව මාවතකට යොමු වී ඇති අතර, තායිලන්ත බෞද්ධ ජනතාවගේ ඉහළ ගෞරවාදරයට ද මෙය පාත්‍ර වී තිබේ.













