දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව, 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිවිල් ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN (Taxpayer Identification Number) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. රජයේ නව බදු ප්‍රතිපත්ති සහ පරිපාලන ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
ඕනෑම මූල්‍ය ආයතනයක නව බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය පත් (Credit Cards) ලබාගැනීමේදී TIN අංකය අනිවාර්ය වේ. මෝටර් වාහනයක් අලුතින් ලියාපදිංචි කිරීමේදී මෙන්ම වාහන හිමිකම පැවරීමේදී සහ වාහන බලපත්‍ර (Revenue License) අලුත් කිරීමේදී ද මෙය ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා මෙහිදී යම් සහනයක් හිමි විය හැකි බව මීට පෙර වාර්තා විය.
ඉඩමක් හෝ දේපළක හිමිකමක් ලියාපදිංචි කිරීමේදී සහ ඕනෑම නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ද TIN සහතිකය අනිවාර්ය වේ. මීට අමතරව, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීමේදී සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීමේ කටයුතුවලදී ද මෙම අංකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
දැනටමත් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් TIN අංකයක් ලබාගත යුතු බවට රජය නියෝග කර ඇති අතර, මෙම නව නීතිය මගින් එම අංකය දෛනිකව සිදුකරන වැදගත් මූල්‍ය සහ පරිපාලන කටයුතු සමඟ සෘජුවම සම්බන්ධ කර ඇත.














