ශ්‍රී ලංකාව තුළ සම්බාහන මධ්‍යස්ථාන (SPA) ලෙස ලියාපදිංචි වී ඒවායේ මුවාවෙන් සිදුකරනු ලබන විවිධ නීතිවිරෝධී ක්‍රියා සහ ආචාරධර්ම විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා රජය දැඩි පියවර ගැනීමට තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත්තේ බොහෝ ආයතන ලියාපදිංචි වී ඇත්තේ එක් නමකින් වුවද, ඒවා තුළ සිදුවන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි කටයුතු බවයි.
මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මහජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයින පුරා පවතින සියලුම සම්බාහන මධ්‍යස්ථාන දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතය. විශේෂයෙන්ම නිසි බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ස්ථාන වැටලීමටත්, ලියාපදිංචි කොන්දේසි උල්ලංඝනය කරන ආයතනවල බලපත්‍ර අවලංගු කිරීමටත් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලැබී ඇත.
“සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි වෙලා වෙනත් නීතිවිරෝධී ව්‍යාපාර කරගෙන යන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේවා නියාමනය කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් සහ දැඩි නීති පද්ධතියක් අපි හඳුන්වා දෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම පියවර හරහා සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය අවම කිරීම සහ සමාජ සදාචාරය ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාවයි.














