ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2026 වසරේ මුල් මාස හතර තුළ සැලකිය යුතු ජයග්‍රහණයක් අත්කර ගනිමින් සමස්ත සංචාරක පැමිණීම ලක්ෂ හතහමාරේ (750,000) සීමාව පසුකිරීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව අප්‍රේල් මස 05 වනදා වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 767,434 කි.
කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ මුල් දින පහ තුළ සංචාරකයින් පැමිණීමේ වේගය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 16.3 ක සැලකිය යුතු අඩුවීමක් පෙන්වයි. මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලට එල්ල වී ඇති බාධා සහ යුරෝපීය වෙළඳපොළේ පවතින ආර්ථික පසුබෑම මෙලෙස සංචාරකයින් පැමිණීම අඩුවීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් අප්‍රේල් මාසය සඳහා අපේක්ෂිත සංචාරකයින් ලක්ෂ දෙකේ ඉලක්කය සපුරා ගැනීම ද අසීරු වනු ඇතැයි අනුමාන කෙරේ.
වත්මන් දත්තවලට අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් සංචාරකයින් පැමිණීම ඉහළ මට්ටමක පවතින අතර, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය වැනි සාම්ප්‍රදායික යුරෝපීය රටවලින් සංචාරකයින් පැමිණීම සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 56 ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී තත්ත්වයකි. ගෝලීය අස්ථාවරත්වය හමුවේ ඉදිරි මාසවලදී කලාපීය රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්මට තීරණාත්මක වනු ඇත.














