ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 22 දක්වා වූ කාලය තුළ සංචාරකයන් 692,744 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර මෙය මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද, ආසියානු සහ යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහන් මෙලෙස සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 135,070කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැළකිය යුතු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මාර්තු මස මුල් දින 22 තුළ පමණක් සංචාරකයන් 136,089 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. සංචාරක මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ වසර තුළ චීන සංචාරකයන් ලක්ෂ 3ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය කරා සාර්ථකව ගමන් කරමින් සිටින බවත්, ඩිජිටල් ගෙවීම් පද්ධති පුළුල් කිරීම හරහා ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු තවදුරටත් පහසු කිරීමට කටයුතු කරන බවත්ය.














