ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සාර්ථකව කළමනාකරණය කරමින් සංචාරක පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 556,655 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. යුදමය තත්ත්වයන් ක්‍රමයෙන් විසඳීමත් සමඟ මෙම ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, සංචාරක වීසා මත මෙරටට පැමිණ අනවසරයෙන් සංචාරක මාර්ගෝපදේශක කටයුතුවල නිරත වන විදේශිකයන් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව ඇත. විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට මහතා පෙන්වා දෙන්නේ, එවැනි පුද්ගලයන්ට දඬුවම් දීමේ හැකියාවක් නොමැති වුවද ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි. මහනුවර පැවති සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.














