2026 වසරේ මුල් මාස තුන ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 623,651ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTA) නිවේදනය කරයි. මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව ආරක්ෂිත ගමනාන්තයක් ලෙස පවතින බව තහවුරු කරමින් මාර්තු 01 වනදා සිට 11 වනදා දක්වා වූ දින 11ක කාලය තුළ පමණක් සංචාරකයන් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවන අතර, ජනවාරි 01 සිට මාර්තු 11 දක්වා කාලය තුළ ඉන්දීය සංචාරකයන් 115,772ක් මෙරටට පැමිණ ඇත. ඉන්දියාවට අමතරව රුසියානු සමූහාණ්ඩුව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය යන රටවල් ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන ප්‍රධාන වෙළඳපොළවල් ලෙස හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම චීන සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
මෙම වර්ධනය මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ සංචාරක ක්ෂේත්‍රය මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ප්‍රබල දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් රජය විසින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා හඳුන්වා දුන් නව ක්‍රමවේද සහ වීසා පහසුකම් ලිහිල් කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














