ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයන් සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස නම් කර ඇති බවට සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. අන්තර්ජාලය හරහා සංසරණය වන මෙවැනි නොමඟ යවන සුළු පණිවිඩ පිළිබඳව අවධානය යොමු කරමින් මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව නිකුත් කර ඇති නිල සංචාරක උපදෙස් මට්ටම (Travel Advisory Level) කිසිදු වෙනසකට භාජනය වී නොමැති බවයි
ඕස්ට්‍රේලියානු රජයේ නිල සංචාරක මගපෙන්වීම් ඇතුළත් වෙබ් අඩවිය වන ‘Smartraveller’ හි පළ නොවන කිසිදු තොරතුරක් නිල තොරතුරු ලෙස නොසලකන ලෙස මහ කොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් සහ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි. යම් හෙයකින් ආරක්ෂක හෝ වෙනත් හේතූන් මත සංචාරක උපදෙස් යාවත්කාලීන කරන්නේ නම්, එය වහාම එම නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම සඳහා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාව තවදුරටත් විශ්වාසය තබා ඇති බව මෙම නිවේදනය හරහා ගම්‍ය වේ. පදනම් විරහිත පුවත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට සිදුවිය හැකි අනවශ්‍ය බාධා වළක්වා ගැනීමට මෙම නිල පැහැදිලි කිරීම ඉවහල් වනු ඇත.














