2035 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ඉලක්කය සහිත ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ලෝක ක්ෂය රෝග දිනය ඊයේ (2026 මාර්තු 24) දිවයින පුරා සමරනු ලැබීය. “ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක” යන තේමාව යටතේ මෙවර වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සැමරුම් උළෙලක් ද පැවැත්විණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 14,000ක් පමණ හඳුනාගත යුතු වුවද, දැනට වාර්තා වන්නේ රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවකි. මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ දළ වශයෙන් රෝගීන් 5,000ක් පමණ හඳුනා නොගෙන සමාජය තුළ සැරිසැරීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම ළමුන් අතර රෝගීන් හඳුනා ගැනීමේ අඩුවක් පවතින බව නිරීක්ෂණය වී ඇති අතර, 2025 වසරේ වාර්තා වූ රෝගීන් අතරින් ළමා ක්ෂය රෝගීන් වාර්තා වී ඇත්තේ සියයට 3ක් වැනි අඩු මට්ටමකය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ 2015 වසරේ දත්තවලට සාපේක්ෂව 2035 වන විට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 90කින් සහ මරණ සංඛ්‍යාව සියයට 95කින් අඩු කිරීමයි. බැක්ටීරියාවක් මඟින් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු කරන රෝගය වන ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ සියලු මට්ටම්වල වගවීම වැඩි දියුණු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ යටතේ මාර්තු 16 සිට 20 දක්වා කාලය ක්ෂය රෝග දැනුවත් කිරීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර, රසායනාගාර පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා දැනටමත් ක්‍රියාත්මක වේ.














