ඕස්ට්‍රේලියාවේ ඉයන් හීලි ඕවල් (Ian Healy Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (අප්‍රේල් 07) පැවැති තරගයෙන් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 52ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42.4කදී සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලිමන්සා තිලකරත්න පන්දු 85කදී ලකුණු 51ක් රැස් කරමින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ශෂිනි ගිම්හානි පන්දු 50කදී ලකුණු 39ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.
ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 42.1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ලකුණු 35ක් ලබාගත් බ්‍රයෝනි ගිල්ග්‍රාස් ය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද දැක්වූ ඉහළ දක්ෂතාව මෙම ජයග්‍රහණයට මූලික පදනම දැමූ අතර, මෙය ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.












