පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (2026 මාර්තු 16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු කවුරුන්ද යන්න එළඹෙන මාර්තු 31 වනදා රටට හෙළි කරන බවයි. වසරකට අධික කාලයක් තිස්සේ තමන් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු සකස් කරන ලද “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අනාවරණය කිරීම” (Uncovering the Mastermind of the Easter Attacks) නමැති කෘතිය එදිනට එළිදක්වන බව ඔහු සඳහන් කළේය.
මෙම ග්‍රන්ථය මාර්තු 31 වනදා පස්වරු 3.30 ට කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. පසුගිය වසර හතක කාලය පුරා පාස්කු ප්‍රහාරය විවිධ දේශපාලන වාසි සඳහා යොදාගත් බවත්, ඒ හරහා ආණ්ඩු පිහිටුවීමට සහ පෙරළීමට කටයුතු කළ බවත් ගම්මන්පිල මහතා මෙහිදී චෝදනා කළේය. එසේම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රණවිරුවන් පවා මෙම සිද්ධියට පටලවා පීඩාවට පත්කිරීම අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රහාරයේ අභිරහස හෙළි කිරීම හරහා මෙතෙක් පැවති බොහෝ දේශපාලන ගැටලුවලට පිළිතුරු ලැබෙනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා විශ්වාසය පළ කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විවිධ කොමිෂන් සභා වාර්තා සහ පරීක්ෂණ පැවැත්වුවද, එහි සැබෑ සැලසුම්කරු සම්බන්ධයෙන් තවමත් සමාජයේ විවිධ මතවාද පවතින පසුබිමක මෙම අනාවරණය අතිශය තීරණාත්මක වනු ඇත.














