ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ප්‍රැටික් (Andrew Patrick) මහතා ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සහ මහ කොමසාරිස්වරයා අතර අමාත්‍ය කාර්යාලයේදී අද (මාර්තු 25) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ විය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පවතින නීතිමය බාධාවන් ඉවත් කර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
මෙම හමුවේදී මෙරට රාජ්‍ය සේවය වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන සේ නවීකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ලබාදීමට ද එකඟතාව පළ විය. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු හා සංවර්ධන වැඩසටහන් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි. පවතින ආර්ථික හා සමාජ අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කරන ඔරොත්තු දීමේ හැකියාව (Resilience) මහ කොමසාරිස්වරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
සංවර්ධන සැලසුම් යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර, එම ප්‍රදේශය සූර්ය සහ සුළං බලශක්තිය සඳහා ඉතා යෝග්‍ය කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. එහිදී සාගරය මැද සුළං බලාගාර ඉදිකිරීමේ (Offshore Wind Energy) සංකල්පය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර, හරිත බලශක්ති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීම පිළිබඳව ද මෙහිදී මූලික එකඟතාවන්ට පැමිණ ඇත.















