අත්අඩංගුවේ පසුවූ ඉරාන නෞකාව සහ එහි සිටි පිරිස මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දැක්වූ සක්‍රීය මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ පැසසුමට ලක්ව තිබේ. එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ (Marc-André Franche) මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මෙම අදහස් පළ කර ඇත.
ජාත්‍යන්තර සම්මුතීන් සහ බහුපාර්ශ්විකවාදය කෙරෙහි ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරමින්, අපක්ෂපාතීව සාමය උදෙසා ශ්‍රී ලංකාව සිදුකළ මෙම මානුෂීය මැදිහත්වීම ඉතා ඉහළින් අගය කරන බව ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම වත්මන් ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ වුවද, ජාත්‍යන්තරයට ලබා දී ඇති පොරොන්දු සුරැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙම ක්‍රියාවෙන් පිළිඹිබු වන බව ද නියෝජිතවරයා පෙන්වා දී තිබේ.
මැදපෙරදිග කලාපයේ උග්‍ර යුදමය වාතාවරණයක් පවතින මොහොතක, ඉරාන නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකේ.














