2015 වසරේදී අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී සිය බිරිඳ ඝාතනය කර පලාගිය භද්‍රේෂ්කුමාර් චේතන්භායි පටෙල් (Bhadreshkumar Chetanbhai Patel) නමැති ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට සහාය වන තොරතුරු ලබා දෙන්නෙකුට පිරිනමන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට FBI ආයතනය පියවර ගෙන තිබේ. මින් පෙර මෙම ත්‍යාග මුදල ඩොලර් 250,000ක් ලෙස පැවති අතර FBI ආයතනයේ “වැඩිපුරම සොයන අපරාධකරුවන් දස දෙනාගේ” (Ten Most Wanted) ලැයිස්තුවට මොහු ඇතුළත් කිරීමත් සමඟ මෙම මුදල ඉහළ දමා ඇත.
2015 අප්‍රේල් 12 වනදා අලුයම කාලයේදී ඔවුන් දෙදෙනා සේවය කළ ඩන්කින් (Dunkin’) වෙළඳසැල තුළදී මොහු විසින් සිය බිරිඳ වන පාලක් පටෙල්ව ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. වසර 11කට ආසන්න කාලයක් පලාගොස් සිටින මොහු පිළිබඳව ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම සඳහා මෙලෙස ත්‍යාග මුදල ඉහළ දැමූ බව FBI බෝල්ටිමෝර් ක්ෂේත්‍ර කාර්යාලයේ විශේෂ නියෝජිත ජීමි පෝල් ප්‍රකාශ කළේය. පාලක් පටෙල් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය තොරතුරු මහජනතාවගෙන් අපේක්ෂා කරන බව ද බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














