ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සබඳතා අධ්‍යාපන, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීමට දෙරටේ අවධානය යොමුව තිබේ. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයකදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡා පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මොන්ටානා ප්‍රාන්තයේ පෞද්ගලික කර්මාන්තකරුවන්, ජාතික ආරක්ෂක බලකාය මෙන්ම මොන්ටානා විශ්වවිද්‍යාලයේ සහ තාක්ෂණික විද්‍යාලයේ බලධාරීන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව, වරාය ආරක්ෂණ කටයුතු සහ ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය සූදානම පිළිබඳවයි. දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට වැදගත් වන මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ. මීට අමතරව, මොන්ටානා විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ විශේෂ සම්මන්ත්‍රණයකදී තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන දේශනය පවත්වමින් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.














