රුපියල දුර්වල වීම සහ ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව පාරිභෝගිකයන් තුළ පවතින ගැටලු හේතුවෙන් මෙරට වාහන අලෙවිය 15%–20% කින් පමණ පහත වැටිය හැකි බව මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. කියා මෝටර්ස් ලංකා (Kia Motors Lanka) සමාගමේ සභාපති මහේන් තම්බයියා මහතා පෙන්වා දෙන්නේ වාහන මිල ඉහළ යාම සහ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද අලෙවියේ මෙවැනි පසුබෑමක් අපේක්ෂා කළ හැකි බවයි. කොළඹ අල්ටෙයාර් (Altair) ගොඩනැගිල්ලේ නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වාහන ආනයනය යළි විවෘත කිරීමෙන් පසු 2026 ජනවාරි මාසයේදී වාහන ලියාපදිංචිය 55,365 ක් ලෙස වාර්තා වූ අතර එය පෙබරවාරි මාසය වන විට 51,682 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ. විනිමය අනුපාත ඉහළ යාම ඉදිරි ආනයන සඳහා ප්‍රධාන බාධකය වී ඇති බව පෙන්වා දෙන තම්බයියා මහතා, ඇමරිකානු ඩොලරයක රේගු අනුපාතය රුපියල් 310 සිට 320 දක්වා ඉහළ යාම නිසා ඩොලර් 30,000 ක් වටිනා වාහනයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ ඉහළ යා හැකි බවද අවධාරණය කළේය. මීට අමතරව මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් විදේශ ප්‍රේෂණ අඩුවුවහොත් එයද වාහන ආනයනයට ඍජුවම බලපානු ඇත.
විදුලි වාහන (EV) කෙරෙහි පාරිභෝගික උනන්දුව වැඩි වෙමින් පවතින නමුත්, බැටරි ප්‍රතිස්ථාපන පිරිවැය සහ දිගුකාලීන ක්‍රියාකාරීත්වය පිළිබඳ පවතින අවිශ්චිතතාව හේතුවෙන් බොහෝ දෙනෙකු තවමත් දෙමුහුන් (Hybrid) වාහන තෝරා ගැනීමට පෙළඹෙන බවද මෙහිදී අනාවරණය විය. මේ නිසා කියා සමාගම සිය නව මාදිලි අතර දෙමුහුන් සහ විදුලි යන වර්ග දෙකම සමබරව පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.














