ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණික සබඳතා ශක්තිමත් කරමින් දෙරට අතර ප්‍රථම වරට විද්‍යා හා තාක්ෂණ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර ඊයේ (06) පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
මෙම ගිවිසුම හරහා දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව නව මානයකට ගෙන යාමට අපේක්ෂිතය. වියට්නාම රජය මේ වන විටත් මෙයට අදාළ නෛතික කෙටුම්පත් අවසන් කරමින් සිටින බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය. දෙරට අතර දැනටමත් අවබෝධතා ගිවිසුම් 50කට ආසන්න ප්‍රමාණයක් පැවතියද, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවැනි ගිවිසුමකට එළඹෙන පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂී සන්ධිස්ථානයකි.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ වියට්නාමයේ විශේෂ උනන්දුව මෙන්ම වියට්නාමයේ දියුණු ධීවර සහ සංචාරක ක්ෂේත්‍රයන්හි නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීම ප්‍රමුඛ වේ. තවද කෘෂිකාර්මික සහ කාර්මික අංශවල දියුණුව සඳහා තාක්ෂණික උත්ප්‍රේරකයක් ලෙස මෙම සබඳතාව යොදා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම හමුව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














