ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා නව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට දෙරටේ අවධානය යොමු වී තිබේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර ඊයේ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. දෙරට අතර විවිධ ක්ෂේත්‍ර සඳහා ගිවිසුම් 50කට ආසන්න ප්‍රමාණයක් පැවතියද, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඇති කරගන්නා පළමු අවබෝධතා ගිවිසුම මෙය වීම ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම නව ප්‍රවේශය හරහා විශේෂයෙන්ම තේ කර්මාන්තය, පර්යේෂණ, සංචාරක සහ ධීවර කර්මාන්තය යන අංශයන්හි නවීන තාක්ෂණය හා දැනුම හුවමාරු කරගැනීමට අපේක්ෂිතය. වියට්නාමයේ සාර්ථක සංචාරක සහ ධීවර තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ පර්යේෂණ කටයුතු සඳහා වියට්නාමයේ දායකත්වය ලබා ගැනීමටත් මෙහිදී එකඟතාව පළ විය. භූගෝලීය හා කෘෂිකාර්මික වශයෙන් සමානකම් දක්වන දෙරටේ ආර්ථික සහ කාර්මික සංවර්ධනයට මෙම තාක්ෂණික සහයෝගීතාව ප්‍රබල උත්තේජනයක් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.














