සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී රෝහල මඟින් සපයනු ලබන සේවාවන්, විශේෂයෙන්ම අක්ෂි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මීට අමතරව රෝහලේ බාහිර රෝගී අංශය, දන්ත වෛද්‍ය ඒකකය සහ රසායනාගාර සේවාවන්හි ක්‍රියාකාරීත්වය මෙන්ම පරිපාලන හා මූල්‍යමය කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන සහ චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය අර්ජුන තිලකරත්න සහ සමිද්ධි සමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සීදුව සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහල නවීන පහසුකම්වලින් යුත් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබේ. හිටපු ජනාධිපතිනිය මෙම රෝහල කෙරෙහි දක්වන පෞද්ගලික උනන්දුව සහ රජයේ නව සෞඛ්‍ය ප්‍රතිපත්ති එක්තැන් කරමින් මෙම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට නියමිතය.














