විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට දැනටමත් සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක තරගය අද (19) පස්වරු 3:00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව වැඩි වාසි රඳවාගෙන සිටියද, 2025 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ දක්ෂතා හේතුවෙන් අද තරගය ඉතා උණුසුම් වනු ඇතැයි විචාරකයෝ පවසති. දෙපිල අතර මෙතෙක් පවත්වා ඇති තරග 11න් 8ක ජය ශ්‍රී ලංකාව සතු කරගෙන ඇති අතර, අවසන් තරග පහේදී ශ්‍රී ලංකාව තරග 3ක් සහ සිම්බාබ්වේ තරග 2ක් ජයග්‍රහණය කරමින් කරට කර සටනක නිරතව සිටීම විශේෂත්වයකි.
ආබාධයකට ලක්ව ඇති මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට එක් කර ගැනීමට අයි.සී.සී. තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඊයේ (18) පස්වරුවේ ලැබී තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් වන අතර, සිම්බාබ්වේ කණ්ඩායම සිකන්දර් රාසාගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි. තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩාංගණය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇත.














