සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ඡායාරූප අවභාවිත කරමින් ඔවුන් බ්ලැක්මේල් කිරීම (Blackmail) සහ මුදල් කප්පම් ගැනීම් සිදුකිරීමේ බරපතල ප්‍රවණතාවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අනතුරු අඟවයි. අද (05) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ, පුද්ගලික ඡායාරූප භාවිත කරමින් සිදුකරන මෙවැනි තර්ජනය කිරීම් ගෝලීය අභියෝගයක් වී ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සයිබර් ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, මෙවැනි පීඩාවන්ට පත්වන පිරිස් සමාජ අපකීර්තියට බිය නොවී වහාම නීතිමය සහය ලබාගත යුතු බවත් ඇය අවධාරණය කළාය.
පීඩාවට පත් පුද්ගලයන්ට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) හරහා අදාළ අහිතකර අන්තර්ගතයන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට සහ වගකිවයුත්තන් හඳුනා ගැනීමට සහය විය හැකි බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. අන්තර්ජාල හිරිහැර හමුවේ තනි නොවී හෝ ජීවිත හානි කර නොගෙන, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 1938 ක්ෂණික ඇමතුම් අංකය හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා අපයෝජන විමර්ශන අංශය සම්බන්ධ කර ගන්නා ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.














