ශ්‍රී ලංකාව තුළ තවමත් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 5,000ක පමණ පිරිසක් සිටින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ක්ෂය රෝග මර්දන හා උරස් රෝග පිළිබඳ වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය අද (18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය කළාය. පසුගිය වසර තුළ මෙරටින් ක්ෂය රෝගීන් 8,726 දෙනෙකු නිල වශයෙන් වාර්තා වී ඇති අතර, ඉන් 5,622 දෙනෙකුම පිරිමි පුද්ගලයන් බව ද ඇය සඳහන් කළාය.
වෛද්‍ය ශාන්තිලතා මහත්මිය පෙන්වා දුන්නේ පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය වඩාත් බහුලව දක්නට ලැබෙන බවත්, එවැනි රෝගීන්ගෙන් 57%කට පමණ රෝගය අන් අයට බෝ කිරීමේ හැකියාව පවතින බවත්ය. මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බැවින් නාගරික ප්‍රදේශවල රෝගය පැතිරීම වැළැක්වීමට දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ක්ෂය රෝගය යනු ශ්‍රී ලංකාවේ බෝවන රෝග අතර මරණවලට ප්‍රධානතම හේතුවක් බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
සති දෙකකට වඩා පවතින කැස්ස, පැහැදිලි කළ නොහැකි ලෙස බර අඩු වීම, මඳ උණ හෝ ආහාර රුචිය නැති වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති ශ්වසන සායනය වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම සැඟවුණු රෝගීන් කඩිනමින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම හරහා සමාජය තුළ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට බලධාරීන් මේ වන විට විශේෂ පියවර ගනිමින් සිටී.














