පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා අද (25) ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ පවතින තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ඉදිරියේදී ජල බෙදාහැරීම සීමා කිරීමට සිදුවනු ඇති බවයි. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලට ජලය සැපයිය හැක්කේ උපරිම සීමාවකට පමණක් බවත්, අඹතලේ මධ්‍යස්ථානයෙන් දිනකට ඝන මීටර් 560,000ක් සහ ලාබුගම මධ්‍යස්ථානයෙන් ඝන මීටර් 150,000ක් ලෙස දැනටමත් උපරිම ධාරිතාවයෙන් ජලය බෙදාහරින බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජල ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම හමුවේ උස් බිම්වල පිහිටි නිවෙස්වලට සහ නල පද්ධතිවල කෙළවර පිහිටි ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවිය හැකි බව සභාපතිවරයා අනතුරු ඇඟවීය. ගෘහස්ථ ජල පරිභෝජනයේදී නාස්තිය අවම කරමින් හැකි උපරිමයෙන් අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම මෙන්ම ගංගා මෝයවල් හරහා ලවණ ජලය ගංගා තුළට ගලා ඒම (Saltwater intrusion) වත්මන් ජල අර්බුදයට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ. වැලි කැණීම වැනි මානව ක්‍රියාකාරකම් නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, එය වැළැක්වීම සඳහා කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගාවල ලවණ බාධක (Salinity barriers) ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් කළේය.














