දිවයින පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක තුනක කාලය තුළ දිනකට පැය කිහිපයක් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අධික රස්නය හේතුවෙන් ජල පරිභෝජනය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, ජල මූලාශ්රවල පවතින ජල ධාරිතාව අඩුවීම මෙම තීරණයට හේතු වී ඇති බව මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (30) ප්රකාශ කළේය.
විශේෂයෙන්ම කොළඹ දිස්ත්රික්කය ඇතුළු බස්නාහිර පළාතේ සහ තවත් ප්රදේශ කිහිපයක ජල සැපයුම පැය 24 පුරාම පවත්වාගෙන යාමේ දුෂ්කරතාවක් මතුව තිබේ. ජල පීඩනය අඩුවීම හේතුවෙන් උස් බිම් ප්රදේශවල පදිංචිකරුවන්ට ජලය ලබා ගැනීමේදී දැඩි බාධා එල්ල වී ඇති බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.














