විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන අනුගාමිකයෙකු සහ ඔහුට ආධාර දුන් කාන්තාවක වත්තලදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (06) වත්තල ආසිරි උයන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සමඟ සිටි 29 හැවිරිදි කාන්තාව මෙම ජාවාරමට සෘජුවම ආධාර අනුබල දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 137කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර, ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් දෙදෙනා කලක පටන් විදේශගතව සිටින අපරාධකරුවන්ගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කර ඇති බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.














