අද (09) පස්වරු 2.00 න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක මෙම වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
එසේම, සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දින දහවල් 12:12 ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමට නියමිතය. හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි සහ කිරන්කුලම් යන ප්‍රදේශ ඒ අතර වේ. අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද දැනුම් දී ඇත.














