ශ්‍රී ලංකාව පුරා දැනට පවතින ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, දිවයිනේ නිරිතදිග කොටසේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ත් 30ත් අතර වන නමුත්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.














