ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය (Heat Index) “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (23) දිනය සඳහා වලංගු වේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම දැඩි උණුසුම් තත්ත්වය අපේක්ෂා කෙරේ. පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලි පංකා සහ වායුසමීකරණ යන්ත්‍ර භාවිතය සීමා වී ඇති පසුබිමක, මෙම අධික උණුසුම මහජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, එළිමහනේ වෙහෙසකර කටයුතුවල නිරත වීම හැකිතාක් සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් ලබා දෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.













