දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයේ සුළු වෙනසක් සිදුකරමින් අද (29) පස්වරුවේ ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, විශේෂයෙන්ම සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව මෙලෙස වැසි ඇතිවීමට ඉඩකඩ පවතී. මෙම වැසි තත්ත්වය සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති මෙවන් සමයක, විදුලි පරිභෝජනය අවම කරගැනීමට මෙවැනි වැසි සහිත සිසිල් කාලගුණය යම් සහනයක් වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.














