අද (02) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
මීට අමතරව දකුණු පළාතේත්, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව වාර්තා වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හටගන්නා තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
පවතින කාලගුණ විපර්යාස හමුවේ එළිමහන් කටයුතුවල නිරත වන පිරිස් සහ රියදුරන් වැඩි අවධානයකින් පසුවීම වැදගත් වේ. සවස් කාලයේ ගමන් බිමන් සැලසුම් කිරීමේදී මෙම කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.
















