බටහිර ආසියානු කලාපය තුළ ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික සටන් විරාමය සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පවතින කලාපීය නොසන්සුන්තාව සමනය කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය ඉතා වැදගත් සහ තීරණාත්මක පියවරක් වන බවයි.
කලාපයේ වෙසෙන සියලුම ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ දිගුකාලීන ස්ථාවරත්වය තහවුරු කෙරෙන ස්ථිර සාමකාමී විසඳුමක් කරා යාමට මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. එසේම, මෙම සාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වූ සියලුම පාර්ශ්වයන්ගේ කැපවීම සහ උත්සාහය ද ශ්‍රී ලංකා රජය මෙහිදී අගය කර ඇත.














