රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් මත්කරල් 2,600ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු වැලිකඩ පොලිස් වසමේදී අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් වාර්තාවලට අනුව, පළමු සැකකාරිය වැලිකඩ ප්‍රදේශයේ පාසලක් අසලදී මත්කරල් 600ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔබේසේකරපුර ප්‍රදේශයේදී අනෙක් සැකකාරිය මත්කරල් 2,000ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 40 සහ 56 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව හඳුනාගෙන ඇත.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට සැකකෙරෙන අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
















