දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹ බුර්හානි සෙරන්ඩිබ් විද්‍යාලයේදී අද (28) පැවැති ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව අවධාරණය කළාය. “Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් සිසුන් 500කට අධික පිරිසක් සහ කණ්ඩායම් 66ක් සහභාගී වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයකි.
වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක් විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි හරහා තරුණ පරපුරට තර්කානුකූල චින්තනය සහ නවෝත්පාදන කුසලතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් ලැබෙන බවද සඳහන් කළාය. 2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම මෙරට දරුවන්ට ලැබුණු සුවිශේෂී අත්දැකීමක් බව සිහිපත් කළ ඇය, තාක්ෂණික අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසුවාය.














