ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණින් විශේෂ පර්යේෂණ සමුළුවක් පැවැත්වීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තීරණය කර තිබේ. මේ සඳහා වන නිල ගිවිසුමට අත්සන් තැබීම අද (අප්‍රේල් 10) සිදු වූ අතර ඊට අදාළ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ. තරුණ සංවර්ධනය සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමකින් යුත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මෙම සහයෝගීතාව ඉතා වැදගත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ උපකුලපතිවරයා සඳහන් කළේ මෙම පර්යේෂණ සමුළුව තරුණ ගැටලු සහ ඔවුන්ගේ අනාගත භූමිකාව පිළිබඳව ජාතික මට්ටමේ විවෘත සංවාදයක් ඇති කිරීමට මනා අවකාශයක් සපයන බවයි. තරුණ තරුණියන්ගේ නව නිපැයුම්, පර්යේෂණ කුසලතා සහ සමාජ-ආර්ථික දායකත්වය අගය කිරීමට මෙන්ම ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෙමඟින් මඟ පෑදෙනු ඇත.














