සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල “හනිවෙල්” (Honeywell) උපකාරක බල සැපයුම් ඒකක අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීමේ පස් අවුරුදු කොන්ත්‍රාත්තුව HONEYWELL INTERNATIONAL INC. Aerospace ආයතනය වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 25.17ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
ගුවන් යානයක ප්‍රධාන එන්ජින් ක්‍රියා විරහිත අවස්ථාවලදී අවශ්‍ය බලය සහ වායව ශක්තිය සැපයීම සඳහා මෙම උපකාරක බල සැපයුම් ඒකක (APUs) අත්‍යවශ්‍ය වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව මෙම ඒකක ගුවන් යානයෙන් ඉවත් කර අලුත්වැඩියා කිරීමේ තාක්ෂණික පහසුකම් නොමැති බැවින්, ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවා මෙම තේරීම සිදු කර තිබේ. ඒ සඳහා ලැබුණු ලංසු හය අතුරින් වඩාත් සුදුසු ආයතනය ලෙස HONEYWELL ජාත්‍යන්තර සමාගම තෝරාගෙන ඇති අතර, මෙමඟින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් යානා සමූහයේ නඩත්තු කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














