මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් කොළඹ සිට මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම ගුවන් ගමන් අවලංගු කිරීම අද (04) මධ්‍යම රාත්‍රී 11:59 දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සමාගම නිවේදනය කරයි. ඒ අනුව ඩුබායි, දෝහා, දම්මාම්, රියාද් සහ කුවේට් යන නගර වෙත යෑමට සහ ඒමට නියමිතව තිබූ ගුවන් වාර කිහිපයක් මේ යටතේ අත්හිටුවා ඇත.
කෙසේ වෙතත්, අද පස්වරුවේ ඩුබායි බලා පිටත්වීමට නියමිතව ඇති UL 231 ගුවන් යානය නියමිත පරිදි පස්වරු 2:30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතය. මෙම ගුවන් යානය සඳහා මගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු (Check-in) මේ වන විටත් ආරම්භ කර ඇති බව ගුවන් තොටුපළ කාලසටහන් සනාථ කරයි. මෙම යානය නැවතත් UL 232 ලෙස ඩුබායි වේලාවෙන් රාත්‍රී 7:10ට කොළඹ බලා ඒමට නියමිතව තිබේ.
ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් මගීන්ට සහාය වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය (1979) විවෘතව පවතී. මීට අමතරව, මගීන්ට සිය ගුවන් ගමන් නැවත වෙන්කරවා ගැනීම (Rebooking) සඳහා නිල වෙබ් අඩවිය හෝ අදාළ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගන්නා ලෙස සමාගම දැනුම් දෙයි. කලාපයේ පවතින අනාරක්ෂිත බව හමුවේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.














