මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා තහවුරු කරයි. කෙසේ වෙතත් තුවාල ලැබූ පිරිස මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම යුදමය තත්ත්වයේ නවතම වර්ධනයන් මෙසේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ ඩ්‍රෝන යානයක කොටස් කඩා වැටීමෙන් පකිස්ථාන ජාතික රියදුරෙකු මියගොස් තිබේ. ඩුබායි හි ප්‍රකට මරීනා (Dubai Marina) ගොඩනැගිල්ලට ද මෙම කොටස් පතිත වීමෙන් සුළු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන ජනාධිපතිවරයා අසල්වැසි රටවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සමාව අයැද සිටියද, ඉරාන හමුදා විසින් දිගින් දිගටම කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තානාපති කාර්යාල හරහා රජය නිරන්තර මැදිහත්වීම් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














