මැදපෙරදිග කලාපයේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් යළි මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රෝද්‍රිගු මහතා ප්‍රකාශ කර ඇත්තේ, පවතින යුදමය වාතාවරණය හමුවේ මව්බිමට පැමිණීමට අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහාය වීම සඳහා විදේශ තානාපති කාර්යාල හරහා මෙම පියවර ගෙන ඇති බවයි.
විශේෂයෙන්ම ඉරාන – ඇමෙරිකානු ගැටුම් උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අවශ්‍ය අය සඳහා ගුවන් ගමන් පහසුකම් සම්බන්ධීකරණය කිරීමටත් රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ලියාපදිංචි වී මෙම පහසුකම ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














