ඇමරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ රැකියාවල නිරත ලාංකිකයන් ඇතුළු මිලියන සංඛ්‍යාත ආසියානු ශ්‍රමිකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම කලාපයේ පිහිටි ඇමරිකානු යුද කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඩුබායි අබුඩාබි සහ කටාර් වැනි රටවල වෙසෙන විදේශීය ශ්‍රමිකයන් මේ වන විට සිය ආරක්ෂාව පිළිබඳව දැඩි බියකින් පසුවෙති. දැනටමත් මෙම යුද ගැටුම් හේතුවෙන් ඉන්දියාව පකිස්ථානය බංග්ලාදේශය සහ පිලිපීනය වැනි ආසියානු රටවල ශ්‍රමිකයන් 12 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තම පවුල්වල දරිද්‍රතාවය පිටුදැකීම සඳහා මෙරටින් ගිය ශ්‍රමිකයන්ට පවතින ඉහළ වැටුප් හේතුවෙන් රැකියාව අතහැර ඒමට නොහැකි වී ඇති අතර යුද සිරෙනු හඬ මැද ඔවුන් පසුවන්නේ දැඩි මානසික පීඩනයකිනි. බොහෝ රටවල් සිය ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් වාර ක්‍රියාත්මක කළ ද ගුවන් ගමන් අවලංගු වීම සහ ගමන් මාර්ග අවහිර වීම නිසා එම ක්‍රියාවලිය ද අඩාල වී තිබේ. පිලිපීන රජය මේ වන විටත් සිය ශ්‍රමිකයන් 2,000කට වැඩි පිරිසක් ගොඩබිම් මාර්ග ඔස්සේ සවුදි අරාබියට රැගෙන ගොස් එතැන් සිට ගුවන් මගින් සිය රටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.
මැදපෙරදිග කලාපයේ රැකියා කරන මිලියන 24ක් පමණ වන ශ්‍රමිකයන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලින් පැමිණි අය වන අතර ඔවුන් එවන විදේශ විනිමය එම රටවල ආර්ථිකයට ඉතා තීරණාත්මක වේ. කෙසේ වෙතත් දිනෙන් දින උත්සන්න වන යුදමය වාතාවරණය හමුවේ ජීවිතය සහ රැකියාව අතර තෝරා ගැනීමක් කිරීමට මෙම ශ්‍රමිකයන්ට දැන් සිදුව තිබේ. තමන් උපයන මුදලට වඩා තමන්ගේ ජීවිතය වටිනා බව පවසමින් බොහෝ පිරිසක් මේ වන විටත් රැකියා අතහැර සිය රටවල් බලා ඒමට සූදානම් වෙමින් සිටිති.














