2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉතාලිය සහ නේපාලය අතර පැවැති තරගයේදී ඉතාලි කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිෂාන් කළුගමගේ විශිෂ්ට දක්ෂතා දක්වමින් සිය රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දීමට සමත් විය. මෙම තරගයේදී ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙලීමට ඔහු සමත් වූ අතර, එය මීට පෙර එංගලන්තයට එරෙහිව ලකුණු 180ක් රැස් කළ ප්‍රබල නේපාල කණ්ඩායම ලකුණු 123කට සීමා කිරීමට ප්‍රමුඛ හේතුවක් විය. ඉතාලි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 124ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළ අතර, මෙය ලෝක කුසලාන තරගාවලියකදී ඉතාලිය ලැබූ ප්‍රථම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්විය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද ක්‍රිෂාන් කළුගමගේ ය.
වයස අවුරුදු 34ක් වන ක්‍රිෂාන් 1991 වසරේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ අතර, 2007 වසරේදී සිය දෙමාපියන් සමඟ ඉතාලිය බලා ගොස් තිබුණේ 16 හැවිරිදි වියේ පසුවෙද්දී ය. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු ශ්‍රී ලංකාවේදී පාසල් මට්ටමින් 13න් සහ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කර තිබූ අතර, ඉතාලිය වැනි ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ප්‍රසිද්ධ නොවන රටකට යාම සිය ක්‍රිකට් සිහිනයට බාධාවක් වනු ඇතැයි ඔහු මුලදී සිතා තිබුණි. කෙසේ වෙතත්, රෝමා ක්‍රිකට් සමාජයට එක්වීමට ලැබුණු අවස්ථාව ඔහුගේ ක්‍රිකට් දිවියට නව පණක් ලබා දුන්නේය. 2015 වසරේදී ඔහු එම සමාජයට එක්වූ අතර, 2022 වසරේදී ප්‍රථම වරට ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීය.
ක්‍රිෂාන්ගේ මෙම ගමන අතිශය අභියෝගාත්මක වූවකි. ඔහු සිය ජීවනෝපාය සඳහා ලුකාහි පීට්සා අවන්හලක සේවය කළ අතර, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කාලය වෙන්කර ගැනීමේ අරමුණින් සෙසු ඉහළ රැකියා අවස්ථා පසෙකලා සඳුදා සිට සෙනසුරාදා දක්වා එම අවන්හලේ සේවය කිරීමට තීරණය කළේය. මුල් කාලයේ වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ ද, නිරන්තරයෙන් ඇතිවූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් රෝමා ක්‍රිකට් සමාජයේ නිර්මාතෘ ප්‍රභාත් එක්නැලිගොඩගේ මඟපෙන්වීම මත ඔහු පා දඟ පන්දු යවන්නෙකු ලෙස සිය ශෛලිය වෙනස් කර ගත්තේය. මෙම ලෝක කුසලාන සාර්ථකත්වයෙන් පසු, පීට්සා අවන්හලේ සේවයෙන් ඉවත් වී පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීම ක්‍රිෂාන්ගේ මීළඟ බලාපොරොත්තුවයි.














