මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකට එල්ල වී ඇති මිසයිල ප්‍රහාර සහ පවතින දැඩි නොසන්සුන්තාවය හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය දැඩි අවධානය යොමු කර තිබේ. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කිසිදු සැලකිය යුතු බලපෑමක් හෝ හානියක් සිදුවී නොමැති බව එම අමාත්‍යාංශය නිල වශයෙන් අවධාරණය කරයි.
කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ විදේශ අමාත්‍යාංශය මේ වන විටත් අඛණ්ඩව සහ සමීපව සම්බන්ධ වෙමින් පවතින අතර, කලාපයේ තත්ත්වය මිනිත්තුවෙන් මිනිත්තුව නිරීක්ෂණය කරන ලෙස සියලුම දූත මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව +94 71 980 2822 යන අංකයට WhatsApp හරහා ප්‍රවේශ වෙමින් තොරතුරු ලබා දීමට හෝ සහාය පැතීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා රජය මැදපෙරදිග වෙසෙන තම පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














