මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) අද (02) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් වාර කිහිපයක් අවලංගු කර තිබේ. කලාපීය මෙහෙයුම් තත්ත්වයන් අවිනිශ්චිත බැවින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පෙරදැරි කරගෙන මෙම තීරණය ගත් බව ගුවන් සමාගම නිවේදනය කරයි.
අවලංගු කරන ලද ගුවන් වාර අතර ඩුබායි (Dubai), දෝහා (Doha), දමාම් (Dammam), රියාද් (Riyadh) සහ කුවේට් (Kuwait) යන ගමනාන්තයන් ප්‍රමුඛ වේ. විශේෂයෙන්ම UL225 සහ UL226 (ඩුබායි), UL217 සහ UL218 (දෝහා) ඇතුළු ගුවන් වාර කිහිපයක් මෙලෙස නතර කර ඇත. මෙම හදිසි අවලංගු කිරීම් හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ගුවන් සමාගම සිය කණගාටුව පළ කර සිටියි.
පවතින තත්ත්වය හමුවේ තවදුරටත් තොරතුරු හෝ සහාය අවශ්‍ය මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ‘1979’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය. මැදපෙරදිග දේශපාලන අර්බුදය හමුවේ ගුවන් ගමන් වාර නිරන්තරයෙන් වෙනස් විය හැකි බැවින්, ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර තමන්ගේ ගුවන් වාරයේ තත්ත්වය පරීක්ෂා කර බලන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.















