මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් අද (මාර්තු 07) සහ හෙට (මාර්තු 08) දිනවල රාත්‍රී 11.59 දක්වා ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. මෙලෙස අත්හිටුවා ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි, රියාද්, දෝහා සහ ඩම්මාම් යන ගමනාන්ත වෙත සැලසුම් කර තිබූ ගුවන් ගමන් වාර කිහිපයකි.
පවතින තත්ත්වය හමුවේ මගීන්ට තමන්ගේ ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. තවද සහාය අවශ්‍ය මෙරට මගීන්ට 1979 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද විදේශයන්හි සිටින මගීන්ට 0094 11 777 1979 අංකය ඔස්සේ ද තොරතුරු විමසිය හැකි බව ගුවන් සමාගම දන්වා සිටියි.
වැඩිදුර තොරතුරු සඳහා ළඟම පිහිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගම් කාර්යාලය හෝ අදාළ ගුවන් ටිකට්පත් ලබාගත් නියෝජිතයා සම්බන්ධ කර ගන්නා ලෙස ද ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටියි.














