මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ඩුබායි සහ රියාද් බලා යන ගුවන් ගමන් අද (10) සිට යළි ආරම්භ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව මගී අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අද දිනය තුළ පමණක් විශේෂ ගුවන් ගමන් 07ක් ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මඟින් පවත්වනු ලබන මෙම මෙහෙයුම් යටතේ රියාද් බලා යන ගුවන් ගමන් ඊයේ රාත්‍රියේ සිටත්, ඩුබායි බලා යන ගුවන් ගමන් අද දහවල් සිටත් යළි ආරම්භ කර ඇත. මැදපෙරදිග ගුවන් සීමා අවහිර වීම නිසා අතරමං වූ මගීන් වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර යුරෝපා ගමනාන්ත සඳහා ඇෆ්ගනිස්ථානය සහ අසර්බයිජානය හරහා විකල්ප ගුවන් මාර්ග භාවිතා කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ. ගුවන් ගමන් වාරවල සිදුවන කාලීන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් වැඩිදුර තොරතුරු සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගීන්ට දැනුම් දෙයි.














