මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ භූමි මෙහෙයුම් සේවා (Ground Handling Services) අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව ගිවිසුමකට එළඹීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මාලදිවයින අතර පවතින සේවා සපයනු ලබන වත්මන් ගිවිසුම එළඹෙන 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
වේලානා ගුවන්තොටුපොළේ භූමි මෙහෙයුම් සේවා සැපයීම සඳහා බලයලත් එකම ආයතනය වන මාලදිවයින ගුවන්තොටුපොළ සමාගම (Maldives Airport Company Limited) වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
ඇමරිකානු ඩොලර් මිලියන 16.19 ක වටිනාකමකින් යුත් මෙම නව ගිවිසුම 2026 අප්‍රේල් 1 වැනිදා සිට වසර තුනක කාලසීමාවක් සඳහා බලපැවැත්වේ. කලාපයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන මාලදිවයිනේදී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට අවශ්‍ය භූමි මෙහෙයුම් සහාය බාධාවකින් තොරව කාර්යක්ෂමව ලබා ගැනීම සහතික කිරීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි.















