මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ රියාද් සහ ඩුබායි බලා යන දෛනික ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) තීරණය කර තිබේ. ඒ අනුව රියාද් බලා යන ගුවන් ගමන් අද රාත්‍රියේ සිටත්, ඩුබායි බලා යන ගුවන් ගමන් හෙට (මාර්තු 10) සිටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත.
මැදපෙරදිග පවතින ආරක්ෂක වාතාවරණය පිළිබඳව ගුවන් බලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවන අතර මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම පියවර ගන්නා බව එම ආයතනය අවධාරණය කරයි. අලුතින් ප්‍රකාශයට පත් කළ කාලසටහනට අනුව කොළඹ සිට රියාද් බලා යන UL265 ගුවන් යානය පස්වරු 18:15 ටත්, ඩුබායි බලා යන UL231 ගුවන් යානය දහවල් 12:40 ටත් පිටත්වීමට නියමිතය.
මෙම ගුවන් ගමන් පිළිබඳව වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් අවශ්‍ය මගීන්ට www.srilankan.com නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. කලාපීය නොසන්සුන්තාව හමුවේ ගුවන් ගමන් වාර වෙනස් විය හැකි බැවින් ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර වේලාවන් පිළිබඳව නැවත පරීක්ෂා කරන ලෙස ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටියි.














