ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් විස්කි ගෙන්වීමේ සිද්ධියේ විමර්ශන පක්ෂපාතී බවට චෝදනා: සේවකයෝ ජනාධිපතිවරයාට පියවර ගන්නැයි කියති
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික විනය පටිපාටිය උල්ලංඝනය කරමින් දූෂිත ඉහළ නිලධාරීන් ආරක්ෂා කර සුළු සේවකයන්ට පමණක් දැඩි දඬුවම් පමුණුවන බවට චෝදනා කරමින් එම සමාගමේ සේවක පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 2026 පෙබරවාරි 18 දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ විවිධ වංචා සහ දූෂණවලට සම්බන්ධ බවට කරුණු ඔප්පු වූ සේවකයන් රැසක් සේවයෙන් ඉවත් කර ඇති නමුත්, එම නීති රීති ආයතනයේ ආරක්ෂක අංශයේ දූෂිත ඉහළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන බවයි. විශේෂයෙන්ම ආරක්ෂක අංශයේ කළමනාකාරීත්වයට එරෙහිව අයුතු ලෙස සමාගමේ දේපළ භාවිත කිරීම, අයුතු කොමිස් ලාභ ලැබීම සහ සේවිකාවන් ලිංගික හිංසනයන්ට ලක් කිරීම වැනි බරපතළ චෝදනා රැසක් එම ලිපියෙහි සඳහන් කර ඇත.
මෙම දූෂණ ක්‍රියාවලට අදාළ ආසන්නතම සිදුවීම ලෙස 2025 දෙසැම්බර් 23 වන දින ජපානයේ ටෝකියෝ සිට මෙරටට පැමිණි UL-455 ගුවන් යානය මගින් විස්කි බෝතල් 54ක් නීති විරෝධී ලෙස ගෙන්වා ගැනීම පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. අදාළ නිලධාරියාගේ නියෝග මත මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ අසරණ ආරක්ෂක නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති නමුත්, ඒ සඳහා සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති ආරක්ෂක ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයාට එරෙහිව මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන නොමැති බව සේවකයෝ අවධාරණය කරති. මෙලෙස නීති විරෝධී ලෙස අමතර බර ප්‍රමාණයක් ගුවන් යානයට පැටවීම මගින් සමස්ත ගුවන් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවත්, ජාතික ආරක්ෂාවට තීරණාත්මක වන කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව මෙවැනි දූෂිත නිලධාරීන් අත පැවතීම බරපතළ අවදානමක් බවත් ඔවුහු පෙන්වා දෙති.














