8 September 2024
#දේශීය #පුවත්

පුවත ඵල දරමින් මරුවා අත වනන ළදරු පාසල ප්‍රථිසංස්කරණයට පියවර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් එහි මූලික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බවට අප කළ හෙළිදරව්වෙන් අනතුරුව එම පෙරපාසල් ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කිරීමට බළධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

උතුරු මැද පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතා අප ප්‍රවෘත්ති අනාවරණයෙන් අනතුරුව ඊයේ (29) පස්වරුවේ අදාළ ගොඩනැගිල්ල නිරීක්ෂණයට පැමිණ, මාසයක කාළයක් ඇතුළත එම ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කර දෙන බවට එහි පාලිකාවට හා දෙමාපියන්ට පොරොන්දුවක් ලබා දුන් අතර, මාධ්‍යයටද ස්තූතිය පුද කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතා කියා සිටියේ, විශේෂයෙන්ම මාධ්‍යයෙන් තමයි මම මේක මුලින්ම දැනගන්නේ, මේ ළමයින් අනාරක්ෂිතව මෙහි සිටින නිසා දැනට ළමයින් තාවකාලිකව වෙනත් ස්ථානයකට යොමු කරලා තියෙනවා.පෙර පාසලකට ඉතාම යෝග්‍ය ස්ථානයක් මෙම ස්ථානය, ඒ නිසා කඩිනමින්ම මෙම පෙර පාසල ප්‍රථිසංස්කරණයට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමන් මට උපදෙස් ලබා දුන්නා, ඉක්මනට මේ ගැන සොයා බලා, කඩිනමින් තාක්ෂණික නිළධාරීන් ලවා මේ සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කර කඩිනමින් අවශ්‍යය ප්‍රථිසංස්කරණ කටයුතු කරන්න කියලා.අපි බලාපොරොත්තු වෙනවා මාසයක් ඇතුළත මේ පෙර පාසල ඉතාම හොඳ තත්වයෙන් වැඩකටයුතු අවසන් කරලා පෙර පාසලේ ළමයින්ට ඉගෙන ගැනීමේ අවස්ථාව උදා කරන්න යැයි පැවසීය.

පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ද තම පෙර පාසලේ අඩුපාඩුව සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් ඵල කර විසදුමක් ලබා දීම සම්බන්ධයෙන් අපට කෘතඥ පූර්වක ස්තූතිය පුද කර සිටියහ.

වසර 50 කට පමණ ඉහතදී මහවැලි අධිකාරීය මගින් ප්‍රදේශයේ දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර, එදා සිට මේ දක්වා මෙම ගොඩනැගිල්ලේ කිසිදු ප්‍රථිසංස්කරණය සිදු වී නොමැති බවට දෙමාපියන් පවසති.

පෙර පාසල් පාලිකාවක විසින් ප්‍රදේශයේ දරුවන් 25 කට මූලික අධ්‍යාපනය මෙම පෙර පාසල තුළ ලබා දෙන්නේ ජල හා විදුලි යන මූලික පහසුකම්ද නොමැතිවයි.

මෙම පෙර පාසල් ගොඩනැගිල්ලේ වහළයේ පරාල හා රීප්ප දිරාපත් වී, බිත්ති ඉරි තැලී, දොර ජනෙල්ද කැඩී බිදී ගොස් තිබූ මෙම පෙර පාසල් ගොඩනැගිල්ලේ මේ දින වල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ උළු සෙවිලි කළ වහලය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

මේ හේතුවෙන් දරුවන් පෙර පාසල් ගොඩනැගිල්ල තුළ රදවාගැනීමද අවධානමක් වන බැවින් දෙමාපියන්ට දරුවන් පෙර පාසල් නොඑවා නිවසේ තබා ගැනීමට සිදුව ඇතැයි දෙමාපියෝ පවසති.එසේ සිදු කිරීම මගින් තම දරුවන්ගේ මූලික අධ්‍යාපන කටයුතු කඩා වැටෙන බවද දෙමාපියෝ පවසති.

දරුවන් පෙර පාසල තුළ රැදී සිටින මොහොතක යම් හෙයකින් වහලය කඩා වැටී විශාල අනතුරක් සිදු වූ පසු කණගාටුව ප්‍රකාශ කර වහා විසදුම් දෙනවා වෙනුවට අවදානමක් ඇති වී ඇති මේ මොහොතේම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය ගැන සිතා මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් පසුගිය දා ඉල්ලා සිටිති.ඊට විසදුම් ලෙසයි මෙම ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කිරීමට නියමිතව ඇත්තේ.

 

 

තිසර සමල් – අනුරාධපුර

 

පෙර පුවත

 

එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *